468
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
සරෝජිනි ඉතින් ආයෙත් ඇවිත් යන්න එනවද
___________
විරාමය තමයි සිතුවිලි කතා කරන දෙහදක
සරා සඳ මැවෙයි තරු ඇස පියා නිදන අහසක
ඉරාගෙන හදින් ඉරුවක් පමා නො වෙන මොහොතක
විරාගය ලියයි කඳුළැලි කඩා හැලෙන දෙඇසක
ගොතා ගන්න බැරි ලියුමක් හිතේ ලිව්වෙ කවුරුද
කතා කියන දෑසින් සිරිදාසත් ඉඟි එව්වද
කතා නො කර ඉන්නෙක, මට කියා දෙන්න වැරදි ද
හිතාගන්න බැරි තරමට නපුරු වුණේ කොහොම ද?
චන්ද්‍ර මඬල සරියෙන් දුර, බැන්ද සොඳුරු ආලය
යන්ත්‍ර මන්ත්‍රවලටත් හරවන්ට හැකි ද කාලය
මන්ද්‍ර ස්වරෙනි ඇහැරෙයි මිය යන්ට නො හැකි ගීතය
ඉන්ද්‍රජාල පපුවක අරවින්ද පිපුණ හීනය
පුරෝගෙන අඳුර, ප්‍රේමය නිදා හිඳියි දෙණ මැද
අරෝවක් නැතේ තනියම නො ආ එකට පුරහඳ
විරාවෙන් නොවේ, මඳහස් අතීතය ම පිරිසිඳ
සරෝජිනි ඉතින් ආයෙත් ඇවිත් යන්න එනවද?
| පෘථිවි අයේශ්මන්ත
#pruthuwi_ayeshmantha
ජිනදාසගෙන් කවියක්
අරුණලු කැරළි වැටුණම සිංහල රටට
කවුළුව තුළින් හිනැහෙයි තුරුලිය රුවට
කෝකිළ ගැයුම වස්සානය එන බවට
මේ මම ලියන අවසන් කවිය ද නුඹට
මහගෙයි උළු යටින් අරුණළු ගලනවද
නිදි ගැට කඩ කඩා තේ උණු කරනවද
ඉපැරණි මතක එකිනෙක පටලැවෙනවද
තාමත් පියල් මට ඉඳහිට බනිනවද
තැන තැන අකීකරු සිතුවිලි තරු රන්දා
එහි මැද නිහඬ මුනිවත පිරුවෙකි චන්ද්‍රා
කහටක් හිතේ කවදත් නොතිබුන හින්දා
ගම්පෙරළියේ මම සුළු චරිතෙකි නන්දා
| චින්තක සමන් හේරත් ☘️
උගත් පඬිතුමෙකු ගැන සාගර පලන්සූරිය සූරින් ලියූ රසවත් කවි කතාවක්...
උගත්කම - මහ උගතා ලියූ අපූරු පොතේ තිබුණේ මොකක් ගැන ද?
එළු සකු මගද පොත් කටපාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැණී
පොතක් ලියන්නට සිතිවිල පහළ වුණී....
1967 සිංහල පද්‍ය සාහිත්‍ය - සාමාන්‍ය පෙළ පාසල් පෙළ පොතෙනි...
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය
දශක ගණනාවකට පසු
නොම්මරේ හොයාගෙන කතා කර,
දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,
කින්ද මන්දයි නොඅසාම, එන්නම්ය කිවුවාය.
මාතරට ආවේ නුවර සිට පෙරේදය.
එයාලගෙ මහ ගෙවල් අකුරැස්ස හරියේය.
දින දෙකක් නෑදෑ ගෙවල් වල කැරකිලා
මූණ කරකුට්ටන් වෙලායැයි
උදේ හමුවූ වෙලේ චෝදනා නැගුවාය.
එයා ඉස්සරත් එහෙමය.
වැස්සත් බනින්නේ මටය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
එයා මට කලින් බැන්දාය.
අපට අප නැති වුනේ මගේ වරදින් කියා
අවසාන දවස් වල බැන්නාය.
දහසකුත් වැරදි කර මා යලිත් ඇමතුව ද
ඇය මාව තුරුලු කර ඉම්බාය.
මම කරපු මෝඩ වැඩ දරාගනු නොහැකි තැන
ආදරේ යැයි මැවූ සිහින හැම බිඳුණු තැන
ඉවසලා ඉවසලා තව ටිකක් බලා හිඳ
වෙන අතක් බලන්නට හිතුවාය.
බඳින්නට පෙර දින ද අමතලා ඇඬුවාය.
එයා එයාටත් වඩා මට ආදරේ කලාය.
මට ඒක තේරුණේ පහුවෙලාය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
පොඩි දූ පැටියෙකු හදමුයි කියා දවසක,
මා සමග එකතු වී,
"උත්තරා" යැයි සුන්දර නමක් පවා දමා එදවස,
අඳින්නට රෝස පැහැ
ගවුම් කොට පවා තෝරා කෙල්ලෙකුට,
බඳින්නටත් බොහෝ කලක සිට,
ඇය මේ ලොව සුන්දරම අම්මා වූවාය.
අම්මෙකු වන්නට නොහැකි වේයැයි කියා,
කතන්දර දහසකුත්, තව ටිකකුත් අසා,
මුලු මහනුවරම සමග සටන් කොට
දික්කසාදය ගත්,
ඇය මේ ලොව නිර්භීතම අම්මාය.
කවුරුවත් අම්මාය කියලා නොකීවත්
කිසිදාක අම්මාය කියා ඇය නොඇහුවත්
විශ්වාස කරන්න,
ඇය මා දන්නා හොඳම අම්මාය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
ඔබ ඉපදුණා කියලා කාගෙන් හරි ඇහුණාම
එකතු කරගෙන සිටි ඇඳුම් මලු ගාණක්
අඥාතව මා නමට එවුවාය.
අද ඒක ගැන ඇහුවාම,
මොකුත් නොකියා හිනැහුණාය.
අත කටට තියාලා, "ශ්ශ්" හඬක් නැගුවාය.
ඒ මේ අත යමින්, පැරණි මිතුරන් හමුවෙමින්
අතරින් පතර විවේක කාමරයට ගොස්
කොණ්ඩයද සාරියද ආයෙ ආයේ සකසමින්
එදාටත් වඩා ලස්සන ගැන වද වෙමින්
ඉඳහිට මම දෙස ද බලමින් නොබලමින් හිනැහෙමින්
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
ඔබේ නම "උත්තරා" කියලා උදේ මම කිවුවාම
ලොකු කඳුලු බිඳු දෙකකින් ඇගේ ඇස් තෙමුණාය.
| මහේල හෙට්ටිආරච්චි
#Mahela_hettiarachchi
ඔබේ මගුල් දා රැයේ
මහ පුදුම දේ වුණා;
මුහුද ගොඩ ගැලුවා
හඳ ගිනිගත්තා
ලෝකෙ එකතැන නැවතුණා
.
.
මගේ හදවත ගැබ් ගත්තා
ඔව්,
එය මට හොඳින් දැනුණා
දින-සති-මාස ගෙවුණා
හුස්මක් පවා බරට දනුණා--
වසරකට පස්සෙ දවසක
ඔබ මට ඇමතුමක් ගත්තා;
'මම තාත්තෙක්, එයා බෝල පුතෙක්'
ඔබේ ඇස් හිනැහුණා,
මට පෙනුනා
මට විලිරුදාව දැනුණා
ඇහැ අගින් සිහින් බිඳුමක් ඇහුණා
වැව් බැම්ම බිඳී,
මා උන්නු කාමරය යටවුණා
ආයෙමත්,
මට විලිරුදාව දැනුණා;
රැයවල් තුනක් ගෙවුණා
.
.
.
වැව හිඳී පතුල පෑදී තිබුණා
නිවුණු පහනක කෙළවර
මෙරුවෙක් විස්සෝප වෙමින් උන්නා;
අන්තිමේ මං
කවියක් ප්‍රසූත කරලා තිබුණා!
හරිත ඉඳුවර
#haritha_induwara
අද ලෝක කවි දිනය!
වchaන අපේ අලුත්ම වැඩේ - වchaන කාව්‍ය නිර්මාණ තරඟයට අද සිට මාසයක් ඇතුළත ඔබට කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්.
සුදුසුකම් සහ නීති
• වchaන ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටග්‍රෑම් පිටුව ෆලෝකරන ඕනෑම වයසක, ඕනෑම ආධුනික කවියෙකුට කිවිදියකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්.
• එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ කාව්‍ය නිර්මාණ 03 ක් පමණයි.
• වෙනත් තරඟ වලින් ජයග්‍රහණය කළ හෝ මීට පෙර කිසියම් මුද්‍රිත කෘතියක පළවූ නිර්මාණ බාර ගැනෙන්නේ නෑ.
• තරඟය වට දෙකකින් පැවැත්වෙන අතර, පළමු වටයෙන් තෝරා ගන්නා නිර්මාණ වchaන ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළකෙරෙනවා.
• එසේ පළවන නිර්මාණ අතරින් අවසන් වටයේදී විනිශ්චය මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලබන විශිෂ්ටතම නිර්මාණ තුනක් හා ජනප්‍රියතම නිර්මාණය සඳහා ත්‍යාග පිරිනැමෙනවා.
• පළමු වටයෙන් තෝරාගන්නා සියලු ආධුනික කවියන් සහ විනිෂ්චය මණ්ඩලය සමඟ නිර්මාණකරණය සහ ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කෙරෙන සූම් සංවාදයක් පවත්වනවා.
• එම සියලු කාව්‍ය නිර්මාණ සාමූහික කාව්‍ය කෘතියක් ලෙස Ebook ආකෘතියෙන් ප්‍රකාශනය කෙරෙනවා.
විනිෂ්චය මණ්ඩලය
• පසුව දැනුම් දෙනු ලැබේ.
ත්‍යාග
• විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ තුන සහ ජනප්‍රියතම කාව්‍ය නිර්මාණය සඳහා කවි පොත් කට්ටලයක් ත්‍යාග ලෙස ලබා දෙනවා.
නිර්මාණ එවිය යුතු ආකාරය
• සිංහල යුනිකෝඩ් අකුරින් ටයිප් කර MS Word ගොනු ආකෘතියෙන්, wachanaspace@gmail.com ඊමේල් ලිපිනයට එවිය යුතුයි.
• රූප සටහන් හෝ පින්තූර බාරනොගන්නා අතර නිර්මාණය තමාගේම නිර්මාණයක් බවට සහතික කර ඔබේ නම, දුරකතන අංකය ඇතුළු විස්තර ඊමේල් පණිවිඩයට අමුණා එවිය යුතුයි.
• නිර්මාණ භාර ගන්නා අවසන් දිනය : 2024-05-21
Repost from Sinhala Poetry Foundation
කවියක් ලියා කවියෙකු ඉන් ලබන සුවේ
හදවත මෙන් ම ලේ කඳුලැලි අතර දිවේ
ලියනා කවිය රස විඳිනා අයට ලොවේ
දුන් පසු කවිය කවියා හට අයිති නොවේ
© අනුර ගුණතිලක
#poetry
ඔයාට බැරිද
ආයෙත් මාරුවක් ගන්න
කොහාට හරි.
මට පුළුවන්
එතකොට අඬන්න.
එතකොට අවුරුද්දක් නෑ
අපි බැඳලා
ප්‍රොපෝසල් එකකින්.
දවසක් හවස
ඔයා ගෙදර ආවා
දාඩිය දාගෙන
"මාව මාරු කරලා
දුරකට"
ඔයා කිව්වා බිත්තියට.
මට දැනුනෙ නෑ
කිසි දෙයක්.
ඔයාගෙ ඇඳුම් බෑග් එක හැදුවෙ
ගෙනියන්න කෑම ඉව්වෙ
මම නෙවෙයි වෙන්නැති
මට දැනුනෙ නෑ
කිසි දෙයක්.
ඒත් ඔයා පිටත්වෙද්දි
මට ඇඩුනා
අඬන්න එපා මැණික
ඔයා කිව්වා.
අපේ ආදර කතාව
පටන් ගත්තෙ
ඒ මොහොතෙදි.
එදා රෑම
මම ලිව්වා
පලවෙනි ලියුම
ඔයාට.
ඔයාගෙ සුවඳ තියලා
තනියට
ඔයා ගිහින්.
ලෝකෙ කොහෙ හිටියත්
මගේ හිත ඔයා ළඟ
ඔයා උත්තර බැන්දා.
මම කෑවද
බිව්වද
නෑවද
හොඳින්ද
හැමදාම ඔයා ඇහුවා.
මං දිගට දිග ලියුම් ලිව්වා.
හැමදාම.
ඔයාගෙ ලියුම්
මට මෙහෙට ඔක්සිජන්
මං හුස්ම ගන්නෙ ඒවගෙන්
ඔයා කිව්වා.
මාසෙකට සැරයක්
ඔයා කොහොම හරි ගෙදර ආවා
ඒ මැදත්
ඉදහිට
මහ රෑ ඇවිත්
පාන්දරම ගියා.
මම නෑවා
හැමදාම හවසට
බැරි වෙලාවත්
ඔයා ආවොත්.
අවුරුදු තුනකට පස්සෙ
ඔයා ආවා
බඩු පොඳි බැඳගෙන
සදහටම ගෙදර ඉන්න.
සතුටයි කිරුළ අපේ.
සුමානෙකට පස්සෙ
ඔයාට අමතක වුනා
මම කෑවද බිව්වද අහන්න.
මට අමතක වුනා
හවසට නාන්න.
ඔයාට බැරිද
ආයෙත් මාරුවක් ගන්න
කොහාට හරි.
මට පුළුවන්
එතකොට අඬන්න.
ආදරය තියෙන්නෙ
වේලිච්ච ඇස්වල නෙවෙයි
අඬන ඇස්වල.
සුසන්ත ආරියරත්න
#susantha_ariyarathne
මවු කිරි
දකුණු ඉසව්වෙන් පැමිණිය පුත වැහිළිහිණී
මියුරු තෙපුල් තුඩු වැහි පොද සිහිලස ගිහිණී
නුඹට අපේ කැදැල්ල තුළ ඉඩකඩ තිබුණී
අපට කුරුල්ලෝ නොදැනුනෙ නුඹෙ බස පමණී
සිනා කිරෙන් කන්තෝරුව බිම පිරිබඩ දුන්
පිච්ච මල් සුදට දත් ටික නුඹට කවුරු දුන්
තල් ගස් යට වැලි පොළවට වට වැසිපොද වන්
කවුරු වැදූවත් පුතුමයි රත්තරන් පුතුන්
පාට එළලු වන් පුත, මෙහි දකුණුකරෙන් වන්
පාට කළු වුණත් මගෙ පුතු සමග කෝවලන්
බෝම සුමිතුරන් වී පසු විනිය කෙළිදෙලෙන්
සේ ම කුරුල්ලන් - ඉපදුන එක ම කැදැල්ලෙන්
අහස අඳුරු වී දවසක
පුපුරමින් අකුණු වෙඩි සැර
කැදලි සුණුවිසුණු වී බිම දා පතිත වුණයි
පුතුනි නුඹේ විලාප හඬ
දෙකන් පලාගෙන ඇතුළුව
රිදුම් දී අනියි ළමැදට තවම කැක්කුමයි..
හොට ඇරී සිඳුනු අත්තටු
ලෙයින් දිය වෙවී ඉළ ඇට
මගේ පරවියන් දෙදෙනා කාණුවෙ වැටුණයි
සාමයේ ළපටි මළකුණු තවම උණුහුමයි
ක්‍රෝධයේ ඇඟිලි සළකුණු ඒ මත තිබුණයි..
අහස බලාපන් දෙවියන් කොහෙද බලාපන්
පොළොව බලාපන් මේ කිරි නොවෙද බලාපන්
පපුව බලාපන් මේ කිරි නොවෙද බලාපන්
විස පොවා ලොවක් වඩනට හැකිද කියාපන්..
සිද්ද වෙද සෙතක් පඬිරට ගින්දර ලෑමෙන්
ඇද්ද ලොව පුතුන් වැඩු මිස නැසුව මව්වරුන්
දෙන්න මට මගේ දෙපුතුන් දෙන්න මට ඔවුන්
උන්ට පණ පොවමි මම මගෙ එකම පියයුරෙන්..
(සුබ උදෑසන කාව්‍ය සංග්‍රහය )
© රත්න ශ්‍රී විජේසිංහ
#rathnasri_wijesinghe
ඇසට අපහසුම කෝණයක
නයිටියක් පටලගෙන
වකුටු වී නිදන සඳ
සඳ
පාළුවට
පයින් ගගහා ගල් කැටයකට
ගාටමි
ඈත
බෝඩිම තෙක්ම
Damith Dahanayake
#damith_dahanayake
ජීවිතය ඔව්!එහෙම බර එකක් !
උණු මසුන් කීර දියබෙරලි
දළු ගංතෙරේ
යකඩ බේසම් අබලි වචන
සින්නක්කරේ
දුඹුරු පාපිසි ,බුරුසු කොසු ඉදල්
යන්තරේ
වීදි දිග ගලායයි දිවි සතුටු
මන්තරේ
දොරක් ළඟ තුරුණු අතැඟිලි සීනු
හඬවනා
"මැඩම් චීනෙන් ගෙනා.."වචන මල්
පරවෙනා
නොරිස්සුම් වැසුම් හිත් රිදුම් ගෙන
පළඳනා
ජීවිතය මුල් අදින ඒ සතුටු
කළමණා
ලාබ බන්දේසියක් ප්ලාස්ටික්
බේසමක්
පරණ ලට_පට කැඩුණු
රූප තිරයක් දෙකක්
තබා අත් කරත්තෙක
මහළු මහතෙක් ටිකක්
හඹායයි ජීවිතය!ඔව්
එහෙම බර එකක් !!
අනුරාධා නිල්මිණී.
#anuradha_nilmini
කවියක් ලියා කවියෙකු ඉන් ලබන සුවේ
හදවත මෙන් ම ලේ කඳුලැලි අතර දිවේ
ලියනා කවිය රස විඳිනා අයට ලොවේ
දුන් පසු කවිය කවියා හට අයිති නොවේ
© අනුර ගුණතිලක
#poetry
